Friday, May 6, 2016

විසඳුමක් නොව ගැටලුවක් දියව්



»
»

විසඳුමක් නොව ගැටලුවක් දියව්

නූතන කුමාරයා සටහනින් මේ සතියේ ලියන්නට බලාපොරොත්තු වන්නේ ලංකාවේ දේශපාලනයට ඍජුවම සම්බන්ධ න්‍යායික කාරණයක් ගැනය. අපේ රට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා වසර හැත්තෑවක් පිරෙන්නට ඇත්තේ තවත් වසර දෙකක් පමණි. එසේ වුවත් අපේ රටේ සමාජ දේශපාලනික සහ ආර්ථික ගැටලූ ලෙසින් ඉදිරිපත් වන දේවල් විසඳි නොමැති බව බොහෝ විට අපට ඇසෙන කතාවකි. දේශපාලන වේදිකාවල පමණක් නොව ශාස්තී‍්‍රය සාකච්ජාවලද අඩු නැතිව ඇසෙන්නේ ප්‍රශ්න විසඳි නොමැති බවය. අපි තවම ඉන්නේ යටත් විජිත කාලයේ දී සිදුකළ දේශපාලන හඳුන්වාදිම් වෙනස් කරගත නොහැකි
තත්ත්වයක බවය. අපේ විසඳුම් හරියට බිමට වැටෙන්නේ නැති බවය. මාගේ එක් මිත්‍රයෙක් කීවේ ‘සුද්දගේ කෝච්චිය ඒ අය හැදු කෝච්චි පාරේම පරණ වෙමින් අරන් යනවා’ මිස අලුතින් යමක් කරන්නට අපට ඇත්තේ සීමිත හැකියාවක් කියාය. තවත් සමහරෙකුට අනුව අපි ප්‍රශ්න විසඳනවා යැයි සිතාගෙන විවිධ දේවල් කළත් ඔය කියන ඒ විසඳුම්වලින් විස‍ඳෙන්නේ නැති බවය. මෙහෙම වෙන්නේ ඇයි?
මා සාකච්ජා කරන පළමු කාරණය වන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ දි අපි ප්‍රශ්නයක් තේරුම් ගන්නා ආකාරයේ ඇති ප්‍රශ්නකාරී තත්ත්වය ගැනය. එසේත් නැති නම් යම් ගැටලූවක් තේරුම් ගන්නා ආකාරයේ ඇති ගැටලුකාරිත්වය ගැනය. යටත් විජිත පාලනයෙන් පසුව ගෙවී ගිය වසර 68ම අපේ රටේ දේශපාලන බලය හිමි කර ගත් කණඩායම (බලයට පැමිණ රජයයන්) සෑම එකක් පාහේ අර්බුදයට ගියේ ඔවුන් ගැටලූව ලෙසින් සිතූ කාරණය සහ සමාජය ගැටලූව ලෙසින් සිතූ කාරණයත් එකිනෙකට වෙනස් වූ නිසාය. ඒ දෙක එකිනෙකට වෙනස් වන නිසාය. වෙනත් ලෙසකින් පැවසුවොත් ඒ ඒ රජයන් අර්බුදයට ගියේ එම රජයන් ඉදිරිපත් කළ විසඳුම් වෙනස් වන නිසා නොව විසඳන්නට බලාපො‍ෙරාත්තු වන ගැටලුව වෙනස් වන නිසාය. අනෙක් අතට 1948 සිටම මේ රටේ පාලනයට පැමිණි දේශපාලන ව්‍යාපාරයන් තම තමන්ගේ දේශපාලන ව්‍යාපාරයන් හරහා රටේ ප්‍රශ්නවලට විසඳුම් කියා නොයෙක් දේවල් ඉදිරිපත් කළා මිස රටේ ප්‍රශ්න තේරුම්ගැනීමේ ඥානයකින් සිටියේ නැත. ඒ අනුව අප ක්‍රමයෙන් පත්වෙමින් සිටින්නේ ප්‍රශ්නවලට පිළිතුරු නැති තත්ත්වයට පමණක් නොව ප්‍රශ්නය තේරුම් ගැනීමේ ඥානයක් ද නොමැති තත්ත්වයකටය. මේ කාරණය එක් අතකින් තරමක් දාර්ශනික එකක් වන අතර අනෙක් අතින් තරමක් සංකීර්ණ නොතේරෙනසුලු එකකි.
එහෙත් හැකිතාක් සරලව මේ ගැන කතා කිරීම වැදගත්ය. ලංකාවේ දේශපාලනය ගැන කතා කරන බොහෝ අය ඉදිරිපත් කරන්නේ (උපකල්පනය කරන බව පෙන්වන්නේ) රටේ ප්‍රශ්නයක් තිබෙන බවත් ඒ අය අතේ විසඳුමක් තිබෙන බවත්ය. ගමේ ගොඩේ ඕනෑම පොඩිඅප්පුහාමි කෙනෙකුගේ සිට ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයෙකු දක්වාම මේ තත්ත්වය පොදුය. ගිය ගිය තැන ඒ අය හදන්නේ රටේ තියෙන ප්‍රශ්නයට හිතේ තියෙන විසඳුම ලබා දීමටය. ඇ‍ෙමරිකානු චින්තකයෙකු වූ ප්‍රැන්සිස් ෆුකුයාමා වරක් ප්‍රකාශ කර තිබුණේ මේ තත්ත්වය වැඩි වශයෙන් පවතින්නේ ආසියාතික රටවල බවත් මෙයට හේතුව වී ඇත්තේ බ්‍රිතාන්‍යය යටත් විජිතයක්ව තිබු රටවල අධ්‍යාපන ක්‍රමවේදය හේතුවෙන් මූලික අධ්‍යාපනය සහිත හැමෝම වැඩ කරන්නේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු තමන්ගේ හිස මත පවතින බව පෙන්වමින් බවත්ය. මෙහි තිබෙන ගැටලූව වන්නේ මෙසේ රටේ ප්‍රශ්න ගැන සහ ඒවාට විසඳුම් ගැන තම තම නැණ පමණ ඇති දැනීම රටේ ප්‍රතිපත්ති හැදිම සඳහා කිසිඳු විශේෂඥභාවයකින් තොරව යොදා ගැනීම නිසා ඇතිවන අර්බුදකාරී තත්ත්වය පමණක් නොවේ.
මෙහි ඇති බරපතළ කාරණය වන්නේ තමන් සතුව ඇති රෙඩ්මේඩ් උත්තර මඟින් විසඳන්නට යන්නේ කුමන ප්‍රශ්නයක් ද කියා විචාර බුද්ධියකින් විමසන්නේ නැතිව උත්තර දෙන්නට හා විසඳුම් දෙන්නට යාම නිසා නැති ප්‍රශ්න ගණනාවක් ඇතිවීමේ හැකියාවය. මෙහිදි සිදුවන්නේ රටේ ජනවාර්ගික ගැටලුවල අධ්‍යාපනයේ ගැටලුවල ආර්ථික ගැටලුව ලෙසින් බොහෝ දේශපාඥයන් ඉදිරිපත් කරන තමන් හිතා ගත් ගැටලුවට තමන්ම හදාගත් විසඳුම ගළපන්නට යාම මිස ප්‍රශ්නයේ ස්වභාවය තේරුම් ගැනීමට උත්සාහ නොගැනීමය. සරල උදාහරණයක් ලෙසින් අධ්‍යාපනය සම්බන්ධව තත්ත්වය ගනිමු. නිදහසින් පසු අපේ රටේ පැවති ආණ්ඩු හැම එකක්ම පාහේ අධ්‍යාපනයේ ගැටලුව විසඳන්නට විවිධ උත්තර දෙමින් සිටින බව හොඳින්ම පෙනි යන කාරණයකි. එය ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය, සිංහල දෙමළ මාධ්‍ය අධ්‍යාපනය, මධ්‍ය විද්‍යාල විසඳුම,පොකුරු පාසල, නවොද්‍යා පාසල, මහින්දෝදය පාසල, ළඟම පාසල, හොඳම පාසල වැනි දේශපාලනඥයන්ගේ සිත්වලට වැටෙන විසඳුම්වලින් විසඳන්නට උත්සාහ කරනවා මිස ගැටලුවේ ස්වභාවය තේරුම්ගැනීමෙන් හදන උත්තරයක් නොවන බව මෙහිදි පෙනී යන කාරණයය. දැන් අධ්‍යාපනයේ ගැටලුව ලෙසින් මහන්සි වී වියදම් කර විසඳන්නට තැත් කරන ප්‍රශ්නය මේ එකකින්වත් විසදෙන බවක් නොපෙනෙන්නේ ඇයි යන ප්‍රශ්නය අවධානයට ලක් විය යුත්තේ ඒ නිසාය.
ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමත් අධ්‍යාපන ප්‍රශ්නය විසඳීම වගේමය. 1948 සිටම විවිධ ආකාරයට විසඳන්නට උත්සාහ දරන ජනවාර්ගික ප්‍රශ්නයට ඒ ඒ කාලවල විවිධ උත්තර දී තිබුණත් ඒ එකකින්වත් ජාතීන් දෙකේම ප්‍රශ්නය විසඳි නොමැති බව හැම විටම අසන්නට ලැබෙන්නේ ඒ නිසාය. මේ කියන ප්‍රශ්නයට බණඩාරනායකගේ විසඳුම (පෙඩරල් / රාජ්‍ය භාෂාව) ඩඩ්ලිගේ විසඳුම (රට සභා / දෙමළ භාෂාවට සම තැන දීම ) සිරිමාගේ විසඳුම (1972 ව්‍යවස්ථාව) ජෙ. ආර්. ගේ විසඳුම (78 ව්‍යවස්ථාව / දිස්ත්‍රික් සංවර්ධන සභා / පළාත් සභා) චන්ද්‍රිකාගේ විසඳුම ( බලය බෙදිමේ යොජනාව) රනිල්ගේ විසඳුම (සටන් විරාම ගිවිසුම) මහින්දගේ විසඳුම (යුද්ධය ජයග්‍රහණය කිරීම) වැනි විසඳුම් මල්ලක් තිබුණත් ඒ එකකින්වත් ප්‍රශ්නය විසඳුණේ නැතැයි කියන්නේ ඇයි යන කාරණය සෙවීම විසඳුමක් සොයනවා තරම්ම වැදගත්ය.
ලංකාවේ දේශපාලනයට සම්බන්ධ මේ ගැටලූ විසඳීම සංකීර්ණ කාරණයක් වී තිබෙන්නේ ඒ ඒ විසඳුම්වල තිබෙන ගැටලු සහගත බව නිසාම යැයි සිතා සිටියත් මේ තත්ත්වයට හේතු වන තවත් වැදගත් කාරණයක් වන්නේ ගැටලුව තේරුම් ගැනීමේ ඥානයක් සහ සංස්කෘතියක් අපට නොමැති වීමය. වරක් විට්ගන්ස්ටෛයින් (ඔහු දර්ශනය පිළිබද සුවිශේෂ ප්‍රාඥයෙක් වන අතර 1940 දශකයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා ලෙසින් වැඩ කළ කීර්තිමත් චින්තකයෙකි) කියා ඇත්තේ ප්‍රශ්නයකට විසඳුමක් සෙවීමට අප සතුව තිබිය යුතු ඥානය වගේම (ඊටත් වඩා) වැදගත්කමත් තිබිය යුත්තේ ඒ ප්‍රශ්නය තේරුම් ගැනීමේ ඥානයක් තිබීමට බවය. අපට අද වඩාත් උවමනා වන්නේ ප්‍රශ්නවලට විසඳුම් සඳහා ඥානයක් පමණක් නොව ඒ ඒ ප්‍රශ්න තේරුම් ගැනීමේ විධි ක්‍රමයක් සහිත ඥානයක්ය. තමන්ගේ ඥානයේ ප්‍රමාණයට සහ අතේ තියෙන විසඳුමට ගැළපෙන ආකාරයට ප්‍රශ්නය කපාගෙන උත්තර සෙවීමේ ක්‍රමයෙන් අපට ඉවත් විය හැක්කේ එවැනි ඥානයක් ගොඩනඟා ගත්තොත් පමණය.
ප්‍රශ්නයක් තේරුම් ගානීමේදි ඉතාම වැදගත් වන එක් කාරණයක් වන්නේ අප එම ප්‍රශ්නය ස්ථානගත කරන සත්භාවාත්මත (Ontological) ස්ථාවරය කුමක්ද යන්නය. දේශපාලන යථාර්වාදය (Political realism) පැත්තෙන් බැලිය යුතු ප්‍රශ්නයක් සඳහා විඥනවාදී (idealistic) උත්තරයක් නිර්මාණය කළ විට ප්‍රශ්නයත් උත්තරයත් අතර ඇතිවන්නේ නොගැළපීමක් මිස විසඳීමක් නොවේ. අනෙක් අතට ප්‍රශ්නයක් තෙරුම්ගැනීමේදි එය මතු වන සන්දර්භය තුළ ලබා තේරුම් ගැනීම අනෙක් වැදගත් කාරණයයි. එසේම ප්‍රශ්නය එහි භාවිතාත්මක් අර්ථය (meaning in use) හා ව්‍යාක්‍යානමය අර්ථය (meaning within the context) සමඟ තේරුම් ගැනීම වැදගත් කාරණයකි.
මේ කාරණය ගැන තවදුරටත් ලිවිය හැකි නමුත් තීරු ලිපිය දික්වන නිසා ඒ ගැන වෙනත් ලිපියකින් කරුණු විස්තර කරන්නට අදහස් කරමි. එහෙත් අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ ගැටලූව තේරුම් ගැනීමෙන් තොරව විසඳන්නට යාමෙන් මතුව අතරු ප්‍රශ්න නිසා අපේ දේශපාලන බරපතළ අර්බුදවලට වැටුණු අවස්ථා ඕන තරම් තිබෙන බවය. 1994-2000 කාලයේ බලය බෙදීමේ පැකේජ යෝජනාව හරහා ප්‍රශ්නයට උත්තර හොයන්නට කොළඔ සිවිල් සමාජ දැරු උත්සාහ නතර වුණේ හෙළ උරුමයක් බිහි වී හාමුදුරුවරු අටනමක් පාර්ලිමේන්තුවට වැඩම කිරීමෙන්ය. රතන හිමි පමණක් ඉතිරි වී අනෙකුත් අය ආපසු පන්සල්වලට වැඩම කළේ හොඳ වෙලාවටය.
අවසාන වශයෙන් කිව යුත්තේ කම්කරුවන් සටන් පාඨ කියන මේ මැයි මාසයේ අපගේ එක් සටන් පාඨයක් විය යුත්තේ අපට විසඳුමක් නොව හොඳ ගැටලුවක් දියව් කියාය.


1 comment:

  1. හරවත් ලිපියක්. විසඳුම් වෙනුවෙන් තම බුද්ධිය දායාද කලයුතු රාජ්‍ය නිලදාරීන් පවා දේශපාලන බෙරපදවලට කස්තිරම් අල්ලන කොට සාමාන්‍ය පොඩි අප්පුහාමිලා ගැන කවර කතාද?

    ReplyDelete